අලයාගේ ප්‍රවේශය නොහොත් උදේ පාන්දර මල්ලවපොර තරඟය...

0 comments

උදේ පාන්දර කවුද මන්ද කාළකණ්ණියෙක් ඉල ඇට කූඩුව හෙලවෙන්න දෙකක් අයිනවා දැනිලා මට නැගිටුනා. "මොකාද යකෝ මෙතන මගුල් නටන්නේ?" නිදි මරගාතෙම සද්දයකුත් දාගෙන නැගිට්ටා. වෙන කවුද යක්කු ගස් යන පාන්දර මෙහෙම වැඩක් කරන්නේ?එහා ඇඳේ ගොඩයා ඉන්නවා දත් වල්ලත් එළියට දාගෙන මගේ මූණට එබිලා. පොටෝ කෑලි දෙක තුනක් ගත්තනම් අම්මපා අපායට යවලා කීයක හරි හොයාගන්න තිබ්බා. මූණේ හෙන සිරා පෙනුමක්. මට ටිකක් බයත් හිතුනා මේකට මොනා හරි ලෙඩක් වත් හැදිලද කියලා. ලේසි නෑනෙ එහෙම උනොත්. බෝඩිමේ එකට ඉන්න එකා විදිහට මේ බර කරත්තෙට කරගහන්න වෙන්නෙත් මටනෙ.


"මොකෝ උඹට? මොකක් හරි ලෙඩක් ද?" මාත් ඉතින් මිත්‍ර කම ප්‍රදර්ශනය කරන්න කියලා හිතාගෙන ඇහුවා."මට නෙවෙයි ලෙඩේ, උඹට" මේක ඇදලා ඇරපි නැතැයි තක්බීර් වෙන කථාවක්. මමත් ෆුල් හොල්මන්. හෙමින් සැරේ සරුවාංගෙම අතපත ගාලා බැලුවා අවශ්‍ය කරන අවයව ටික තියෙනවද කියලා. අවුලක් නෑ, ඔක්කොම තියෙනවා. ඊ ළඟට නළලට අතත් තියලා බැලුවා ළාවට හරි උණ ගතියක් තියෙනවද කියලා. ම්හු. එහෙමත් නෑ. "මට ඇති මගුලක් නෑ. උඹට පිස්සුද?" මට දැන් අම්බානක මල. ඊටත් වැඩිය බයත් එක්ක. මේ හඳ පායන දවස් වල මේකට පිස්සු තද වීගෙනවත් එනවද් කියලා. මුගේ බැල්මත් එච්චර හරි නෑ.


"උඹට කෙල්ලො ඇලජික් ද?" මෙන්න මේකා ඊළඟට අහපි. මූ එන පොට කොහොමටවත් හරි නැති නිසා මම පොඩ්ඩක් ගම හරහා දුවන්න ඕනෑ කරන ශරීරාංග ටික සූදානම් කරගෙන ප්‍රතිප්‍රශ්නයක් මූණ හරහා දමලා ඇරියා."උඹට තියෙන ඇම්ම මොකක්ද?" ගොඩයගේ අමුතු බැල්ම කොචෝක් හිනාවකට පෙරලුනා. "නොදකින් තෝ වගේ දෙලොවට නැති එකෙක්. මේ බලපිය" මූ උගේ පෝන් කට්ට මූණ දිහාවට මෑනුවා. මම ත් ඇස් දෙක පොඩ්ඩක් පිහ දාලා එහෙම බැලුවා මොකක්ද මේ හෙන ගෙඩිය කියලා. අම්ම්ටහුඩු, අපිත් එක්ක එකට වැලි සෙල්ලම් කරපු කොළු ගැටයෙක් බඩුවක් දාගෙන. මටත් ඉතින් මාර හැපී. අපෙන් එකෙක් දෙන්නෙක්ටවත් හරිගියනේ කියලා.

ඊළඟට මං ගොඩයා දිහාවට හැරුණා. "ඈ බොල බූරුවෝ, මේකා බඩුවක් දා ගත්තා කියලා අපි පලිද යකෝ? අනිත් එක මේකයි මාත් එක්කයි තියෙන සම්බන්දෙ මොකක්ද?" මට දැන් අසූ හාරදාහට නැගලා. තව ටික වෙලාවක් මේකා මේ සෙල්ලම කළොත් උදේ පාන්දර මට මල්ලවපොර ශිල්ප දක්වන්න වෙන තත්වයක් තමා උදා වෙන්නේ. (දැන් වටෙන් පිටෙන් එළියත් වැටීගෙන එනවා )


"තෝ ඕක කියෙව්වෙ නැද්ද, බලපන් ඌ දාගෙන ඉන්නේ කොහෙ බඩුවක් ද කියලා. උඹලගේ ගමේ එකක්. නොදකින් තොට ගමේ ඉඳලත් බඩුවක් දා ගන්න බැරි උනානේ." මට දැන්නම් අම්මපා මල අතේ. අතට ආව මල අනිත් අතට ඇරගෙන මේකගෙ ඇවරිය උදෑසන ආහාර පිණිස බඩට යැවීමේ පරම චේතනාව පෙරදැරි කරගෙන සංගක්කාර බෝලේ අල්ලන්න ඒම් කරලා පනිනවා වගේ ගොඩයගේ බෙල්ල ඒම් කරගෙන මම උගේ ඇඟට පැනලා, බිම දාගෙන යටත් කර ගත්තා. "ගල් හිවලා, හිකනලා..." මම උගේ බෙල්ලේ ග්‍රහණය අතාරින්නේ නැතුවම ජාතිය අමතන්න පටන් ගත්තා. "...නරියා, රෑ බදුල්ලා, කැරපොත්තා, යකෝ, මම මට ඕන වෙලාවට බඩුවක් දා ගන්නම්. තොට මොකද මම බඩු එකක් නෙවේ සීයක් දා ගත්තත්. මොකද උඹද උන්ට කන්න දෙන්නේ? තෝ මගේ නින්දත් නැති කරලා වල්..." මෙහෙම මම කියවාගෙන ගියා. මෙතනින් එහාට දේවල් මහජන ප්‍රදර්ශනයට නොසුදුසු නිසා මම කියන්නේ නෑ.

ගොඩයා හොඳටම බයවෙලා. ඇසුත් උඩ ගිහින්. ඌ මගෙන් මෙහෙම රිඇක්ෂන් එකක් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති. ( මටත් වෙන වෙලාවක නම් අත ඇරලා දාන්න තිබ්බා. නමුත් ඊයේ රෑ තිස්සේ නිදි මරාගෙන චිත්තරපටි කෑල්ලක් කට පාඩම් කරලා මට කොර වෙන්න නිදි මතේ හිටියේ) මගෙන් ගැලවීමක් නැති බව දැනගෙන මේ යකා යටිගිරියෙන් බෙරිහන් දෙන්න පටන් ගත්තේ නැතෑ. "බුදු අම්මෝ මෙන්න වල් ඌරෙක් කාමරේට පැනලෝ. මාව බේරපියෝ..." ටික වෙලාවයි ගියේ. "ජරබරාස්" ගාලා දොර කඩාපාත් උනා. බෝඩිමේ අන්කල් කාරයා ගෙදර ලස්සන ට එල්ලලා තිබුන සුද්දගේ කාලේ බෙහෙත් කොටන තූවක්කුවත් ඇරගන කාමරේ ඇතුළට පැනල "කෝ බොල ඌරා?" කියලා ගුගුරන්න ගත්තේ නැතෑ..



අලයාගේ පසුවදන


ගොඩයා වැනි තමන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වී සිටිය නොහැකි අමුතු කැහිල්ලක් ඇති දෙලොවටම නැති උන් හැමතැනම සිටිත්ය. උන්ට ඕන්නැති මගුලක් නැත. විශේෂයෙන්ම බඩු කතන්දර වලදී මුන්ට ඇති වන්නේ මාර ඇම්මක්ය. යාළුවාගේ ෆිට් එකට යෑම වෙනම කතාවක්ය. එහෙත් ෆිට් එක වීමට ගොස් ඇණයක් වීම වෙනම කතාවක්ය. හැකිනම් මේ වගේ උන්ට වරක් හෝ අලයා ගොඩයාට සැළකුවා මෙන් සැළකිය හැකිනම් මනාය. (එහෙත් මෙසේ සලකන්නට යාමේදී කඩා පනින තුවක්කු උරුක් කරගත් බෝඩිමේ අන්කල්ලා ගැන අලයා වගකියනු නොලබන බව සැළකිය යුතු මනාය ) ගොඩයා මගේ යාළුවා වුවත් මේ ටික කිව යුතුය.